Tuesday, December 18, 2012

නන්නාඳුනන සිහිනය..

නිල් අහස නුඹ වගේ
උදෑසනම හිරු නැගෙන,
අවිහින්සක ඔය සිනාව
සිත්තම් කරාවි හිස් අහස...

ඉඟි පාන දඟකාරී නුඹ
කවියක් වෙලා මගේ හිත,
ගෙන ගිහින් අනන්තයට
මටත් හොරා හෙමිහිට....

සමනළියක් වගේ නුඹ,
නෙතු මානයේ පියඹද්දි,
හීනයක රඳවලා මං,
පැන ගිහින් නුඹ හනිකට...

සඳවතිය ලඟ ඉද්දි
තරු ගොන්නෙ නුඹ සෙව්වෙ,
සැඟවිලා ගිහින් නුඹ මගේ
නන්නාඳුනන
        සිහිනය වෙලා අද .....


Thursday, November 29, 2012

අන්සතු ප්‍රේමිය..

ඉඳුවර සැණකෙළි
කුමටද සොඳුරිය..
බඹසර පැවතුම්
බිඳලන සොබනිය..
තරු පිරි අහසක
දිදුලන කුමරිය...
නිදි නැති රෑ යම
කළඹන කලණිය..

දෙනුවන් රවටන
සොඳුරු රුවැත්තිය...
මුතුවන් දසනින්
සිනා දෙවන්නිය....
ගිනි ගෙන හදවත
දැවෙනා අරුමය...
හදවත ඉල්ලන
අන්සතු ප්‍රේමිය.......

Sunday, November 18, 2012

ප්‍රමිලා..

රජ සැප මොනවට,
නුඹ නැති යහන් ගැබ..
ප්‍රේමය නිසා නොවෙද,
බිසවුනි උනේ නුඹ අගබිසව...

මිණි මුතු නොවෙද,
නුඹෙ වත සරසන්නට....
පිරිවර ලඳුන් නැතිවද,
නුඹේ තනි නොතනියට....

නිරිඳුන් නිසා මම,
මදුර පුර කුල කුමරිය නුඹ,
නොවුනිද අද නුඹ,
සෙංකඩගල රජ කුමරිය...

රනින් බැඳි පියල්ලෙන්,
නුඹ පිදූනා නොවෙද,
සිරියහන අරා ගිය,
සුවඳ තවමත් මගෙ නේද...

කවිය නුඹ මා වෙන්කලාද,
කපුරු මලකට මම පෙම් කරාද,
සඳුන් දැව යහන මට අකෑපයිද,
දස්කොන්ට මිණි බැඳි දොර ඇරුනාද...?





Saturday, November 17, 2012

දස්කොන්..

පහන් තිර එළියෙන් වත්
නුඹේ රුව දකිනු රිසියෙන්,
පියමන් කලා මන්
බිසවුනි නුඹ දකින්නට..

රාජකීය සයනයේ,
රජුන් සනසන රුවැත්තී,
ලෙන්ගතු උනා මම හැමදාමත්
සංසාර පුරුද්දට...

තහනම් උනත් ප්‍රේමය,
බිසවුනි නුඹ උන්නෙ මන් ගාව,
මුතු වැස්සක් වගේ නුඹ,
කැළඹුවා මගෙ හද විලම...

අමාවක සකි සඳකි,
අපි අපේ ලඟින් උන්න,
සඳලුතල කෙළවරක,
අමරණීයයි අපේ ප්‍රේමය...

නුඹට පෙම් කල වරදට,
වදක මල් ගෙල රුවගෙන,
දංගෙඩියට හිස තියාන,
ප්‍රමිලා මම නුඹ සෙව්වා,
වදක බිම පුරාවට..........



Sunday, October 21, 2012

මළවුන්ගේ නගරය....

මළ සොහොන ඉවකර,
ආත්මය සොරාගෙන,
රෑ දොළහේ කනිසමට,
නුඹත් එක්ක නිදි වදින්න..
සොහොන් ගැබ හාරන්න,
බකුසු හූව ඇහෙන රෑක,
සඳ ගිලුනු අමාවකක,
උලලේනිගෙ විලපයට,
කීරි ගැහුන හිත අරගෙන...
මං එන්නම් සොඳුරියේ,
මළවුන්ගේ නගරයට...



Thursday, October 18, 2012

සුන්දරී.....

හදේ කොනක ඉපිද,
ඒ කොනෙහිම මියැදුන,
වලලන්නට ඉඩක් නැතිව,
ගිනි දල්වා දවා අළු කල,
මළ බතක් නොඋයාපු,
මළවුන්ටම කැපවුනු,
පුනරුප්පත්තියක් නොපතන,
සුන්දරී.....
නුඹයි මගේ ප්‍රථම ප්‍රේමය...