Friday, September 7, 2012

සයනයේ සිහිනය...

නුඹ ගිහින් දුර ගිහින්,
මට නොපෙනෙන්න නුඹ
සැඟව ගිහින්....
ආදරෙන් සිත පුරවලා මගෙ,
නොකියාම මට නුඹ ගිහින්...

අහිමි වෙලා අද නුඹෙ සුවඳ,
හිමිදිරිය සේ දැනුන..
හඬවලා මගෙ මුලු සිතම,
නුඹ ගිහින් දුර ගිහින්....

සිත්තමක් වගේ ඔය,
සිනාසුන සඳවතිය නුඹ
සිත් අහස කළුකරන් අද,
නොකියාම මට නුඹ ගිහින්....

සිඹින්නට මුව මඬළ,
ලබන්නට නුඹේ උනුහුම,
දු‍ටුව මගෙ සයනයේ සිහිනය,
බොඳකරන් අද නුඹ ගිහින්........

Sunday, September 2, 2012

මගේ ෆාතිමා...

නළලත කුංකුම තිලක තියන්,
මර‍තෝන්ඩිය රටා මවන්...
පෑල දොරෙන් ගෙට ගෙවදුන,
මගේ ෆාතිමා...

මොට්ටැක්කිලි තිරෙන් වසන්,
ඇඟිලි තුඩින් රටා මවන..
ලොවට හොරෙන් මගේම උනු,
මගේ ෆාතිමා...

තිරුංගල් ‍තෝඩු අරන්,
මං එනකොට දුරක ඉඳන්...
පැලලි දොරෙන් එබී බලන,
මගේ ෆාතිමා...

සිහින් හඬින් සිනා සෙමින්,
හුරතලේට තුරුළු වෙමින්..
රාමලාන් සඳට එබෙන,
මගේ ෆාතිමා...