Tuesday, October 16, 2012

මගේ අවලං ආදරේ..

තරු ගොන්නේ දිළිසෙන,
පුංචිම පුංචි තාරකාවි,
දුරින් හිටියත් හැමදාම,
ඇයි නුඹට මං ,
මේ තරම්ටම ලෙන්ගතු?

නුඹ නොදන්න,
මම විතරක් දන්න,
නුඹේ සුවඳට පෙම් කරන,
ඒ ආදරේ හින්දද,
නුඹට මේ තරම් ලෙන්ගතු....

දිළී හිනැහෙන ඔය දෙනෙත් අග,
දැවී අළු වෙන මගේ හදවත,
මටත් හොරෙන් නුඹ ඉල්ලන,
ඒ ආදරේ හින්දමද,
මං මේ තරම් ලෙන්ගතු....

තරු පිරුනු හැම රෑක,
සයනයේ වැතිරගෙන,
දකින ෆැන්ටසි හීනෙ හින්දද
නුඹට මේ තරම්,
මම ලෙන්ගතු....

නෙලා නොගෙනම දෝතට,
සුවඳ විතරක් විඳින,
මගේ අවලං ආදරේ,
එපා කියන හින්ද වෙන්නැති,
මගේ හිත මේ තරම්ම,
නුඹට ලෙන්ගතු.....................


Friday, September 7, 2012

සයනයේ සිහිනය...

නුඹ ගිහින් දුර ගිහින්,
මට නොපෙනෙන්න නුඹ
සැඟව ගිහින්....
ආදරෙන් සිත පුරවලා මගෙ,
නොකියාම මට නුඹ ගිහින්...

අහිමි වෙලා අද නුඹෙ සුවඳ,
හිමිදිරිය සේ දැනුන..
හඬවලා මගෙ මුලු සිතම,
නුඹ ගිහින් දුර ගිහින්....

සිත්තමක් වගේ ඔය,
සිනාසුන සඳවතිය නුඹ
සිත් අහස කළුකරන් අද,
නොකියාම මට නුඹ ගිහින්....

සිඹින්නට මුව මඬළ,
ලබන්නට නුඹේ උනුහුම,
දු‍ටුව මගෙ සයනයේ සිහිනය,
බොඳකරන් අද නුඹ ගිහින්........

Sunday, September 2, 2012

මගේ ෆාතිමා...

නළලත කුංකුම තිලක තියන්,
මර‍තෝන්ඩිය රටා මවන්...
පෑල දොරෙන් ගෙට ගෙවදුන,
මගේ ෆාතිමා...

මොට්ටැක්කිලි තිරෙන් වසන්,
ඇඟිලි තුඩින් රටා මවන..
ලොවට හොරෙන් මගේම උනු,
මගේ ෆාතිමා...

තිරුංගල් ‍තෝඩු අරන්,
මං එනකොට දුරක ඉඳන්...
පැලලි දොරෙන් එබී බලන,
මගේ ෆාතිමා...

සිහින් හඬින් සිනා සෙමින්,
හුරතලේට තුරුළු වෙමින්..
රාමලාන් සඳට එබෙන,
මගේ ෆාතිමා...

Tuesday, August 14, 2012

කන්‍යාවිය...

අසම්මත හදුවෙන්
ගැබ්බරයි ඇය....
පහන් කණුව යට එළියෙන්
වීදි සරන සමනළිය ඇය....

සෙනෙහස නොවින්දත්
ගත සනසවන ඇය...
තරු පිරි අහසට
සුසුම් හෙලන ඇය...

සම්මත මිනිසුන්
තුරුලේ සනසන ඇය..
අසම්මත ලොකයේ
සුන්දර පෙම්වතිය ඇය...

ආදරය නොවින්දත්
විරහව විඳින ඇය...
නෙතු පිරුනු කඳුලු කැට
ලොවට හොරෙන් වියලන ඇය..

සම්මත මිනිසුන්ගේ
රතී දෙවඟන ඇය.....
අසම්මතයේ සොඳුරු මිනිසාට
කන්‍යාවියකි තවම ඇය...............


Friday, August 3, 2012

එකම එක ‍රැයක්

රාත්‍රිය නිහඬයි..
මතකයන් අමරණීයයි..
නුඹ හා ගෙවුනු එකම මොහොත,
හිතට හරි උනුහුමයි....

නිහඬවම දෙතොල් සිපගෙන,
උනුහුමට ගුලිව සැඟවුන,
ඉකිගසා හඬන නුඹ,
අහිමි බව නොදැනුනා මට....

නිදි යහන පුරාවට,
අහිමිවුනු නුඹේ සුවඳ,
තරු පිරුනු අහස යට,
විසිරිලා හැමතැනම...............

අපි අපේ නොවන බව,
නොදැන අපි ලං වෙලා..
රත්‍රිය පුරාවට
සොඳුරු සිහිනෙක මම දැව‍ටුනා...

සැඟවිලා මේ සම්මතයෙන්,
අසම්මත උනා නම් මොහොතකට
එකම එක ‍රැයක්,
නුඹත් මමත්............................

Sunday, July 1, 2012

හැන්දෑව...

නුඹේ දෑත පටලාගෙන,
ගං ඉවුර කෙළවරක,
ඇවිද ගිය හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....

මන්දාරම් වැහි පොදට,
හමා එන සීතල සුලඟට,
තෙමුනු නුඹේ සියොළඟ,
සොඳුරුයිද මොනතරම්....

වැහි බිඳු සිපගත්ත,
නුඹේ සිනිදු දෙකොපුල්,
සිහින් දෙතොල් පෙති,
සොඳුරුයිද මොනතරම්....

සීතලට ගැහෙන,
ඇඟිලි තුඩු සිපගෙන,
මගේ උනුහුමට ගුලි උන,
හාදු වැස්සෙන් මා තෙමාපු,
ඒ මන්දාරම් හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....


Wednesday, June 13, 2012

හීන අරන් ආයෙමත්

සුදු අතින් අල්ලගෙන,
හිමිදිරියේ පිනි වැ‍ටුනු,
ගුරු පාර කෙළවරක,
ඇවිදයන්න ආයෙමත්....

වෙල් එලියේ මඳ සුලඟට,
දඟ කරන නුඹේ කෙහෙ‍රැලි,
වසාගත්  නුඹේ දෙකොපුල්,
සිපගන්න ආයෙමත්....

උරතලයේ හිස හොවාන,
සුවෙන් නිදන නුඹ දිහා,
ඇසිපිය නොහෙලා නෙත්,
බලන් ඉන්න ආයෙමත්....

හීනෙනුත් හිත ඉල්ලන,
හිත පුරා දඟ කරන,
නුඹේ පිරුනු ආදරය,
විඳගන්න ආයෙමත්.....

මං එන්නද හෙට උදේම,
හීන අරන් ආයෙමත්............